Our impact, Their voices

කාන්තා ගොවි දෑතට සවිය ගෙනෙන මුලතිව් නගරයේ පළමු කාන්තා සමූපකාර සමිතිය

සමූපකාර සමිති මෙරට තුළ සාර්ථකවී ඇත. එකාමෙන් කටයුතු කිරීමෙන් ගොවි සහ ධීවර ජනතාවට වෙළඳපල වෙත ප්‍රවේශ වීමටත්, සාමූහික මිලදී ගැනීමේ හා අලෙවිකරණයේ ප්‍රතිලාභ බුක්ති විඳීමටත්, ණය පහසුකම් ලබා ගැනීමටත්, සමාජ ශුබසාධන වැඩසටහන් වෙත ප්‍රවේශ වීමටත් හැකිවී ඇත.

Feature | Puthukkudiyiruppu, Sri Lanka | 22 March 2018
පුදුකුඩුයිරුප්පු - මුලතිව් දිස්ත්‍රික්කයේ පළමු කාන්තා සමූපකාර සමිතිය බිහි වීමේ පදනම සකස් වූයේ කාන්තාවන් පහළොස්දෙනෙකු එකිනෙකාගේ ජීවිත ගැටගසා ගැනීම සඳහා ගත් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසය. යුද්ධය නිමාවීමෙන් අනතුරුව මුලතිව් නගරයේ පුදුකුඩුයිරුප්පු ප්‍රදේශයේ තම උපන් ග්‍රාමය වෙත දහසක් පැතුම් කරපින්නාගෙන පැමිණි සිවසුබ්‍රමනියම් නන්දිනීට, තම ජීවිතය පමණක් නොව තමන් වාසය කළ නිවස ද යුද්ධය විසින් සුනුවිසුනු කොට දමා ඇති බව දැකගත හැකි විය. කලක් සරුසාරව ඵලබරව පැවති තම පවුලේ පොල් වත්තට ද කිසිවෙකුගේ රැකවරණයක් නොවූයෙන් එය වල් අලින් විසින් විනාශ කොට දමා තිබිණ. "අපි අපේ උපන් ගම්බිම් වෙත ආවේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. නමුත් හැමදේම උඩුයටිකුරු වෙලා තිබුණා" නන්දිනී පවසන්නීය.

පුදුකුඩුයිරුප්පු ප්‍රදේශයේ ජීවිත ගැටගසා ගැනීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දුන්නේ ඇය පමණක් නොවේ. සිවකුමාර් මාලාගේ ජීවිත කතාව ද ඊට නොදෙවෙනි විය. "අපි හැමෝගෙම විශේෂත්වය වුණේ, අපි හැම දෙනාම වැන්දඹුවන් වීමයි" මාලා පවසන්නීය. යුද්ධයෙන් කෙසේහෝ ජීවිත බේරා ගත්ත ද මෙම කාන්තාවෝ දැන් අලුතින් ජීවිත ආරම්භ කිරීමේ අරගලයට මුහුණ දුන්හ. යළි ඉදිකිරීම් කටයුතු සඳහා ලැබුණු අරමුදල් ද කිසිසේත් ප්‍රමාණවත් නොවීය.


"අපට මුදල් අවශ්‍ය වුණත් අපට ණය දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ" මාලා පැහැදිලි කරන්නීය. කාන්තාවන් පහළොස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායම ඉදිරියේ පැවති එකම විකල්පය තමන්ගේ ම ජාලයක් ගොඩනගා ගැනීමය. ඒ අනුව, එම කණ්ඩායමේ සාමාජිකයෙකුගේ පවුලක සාමාජිකයෙකු රෝගාතුර වූ විටෙක හෝ නිවසේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් සිදුකර ගැනීමට අවශ්‍ය වූ විටෙක අනෙකුත් කාන්තාවෝ ඒ සඳහා මුදල් එක්රැස් කරති. පුදුකුඩුයිරුප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්‍යවසායක සමූපකාර සමිතියේ ආරම්භය එලෙස සනිටුහන් විය.

අදවන විට නන්දිනී එම සමූපකාර සමිතියේ සභාපතිනිය ලෙස ද, මාලා එහි ලේකම්තුමිය ලෙස ද කටයුතු කරති. ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කළ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) පළමුව කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 80ක් දක්වා වැඩි කරමින් ඔවුන් තවත් සමාජ ව්‍යවසාය සමග සම්බන්ධ කළේය. ඉන්පසුව ඔවුන් 2016 වසරේදී ILO සංවිධානයේ ආර්ථික සංවර්ධනය තුළින් ප්‍රාදේශීය ජනතාව සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (LEED) යටතේ සමූපකාර සමිතියක් ලෙස ලියාපදිංචි කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් රැකියා සහ ජීවනෝපාය මාර්ග උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය (EGLR) යටතේ එම සමිතියේ කළමනාකරණ සහ ශක්‍යතා වර්ධනය සඳහා අරමුදල් සම්පාදනය කෙරිණි.

මුලතිවු දිස්ත්‍රික්කයේ එකම කාන්තා සමූපකාර සමිතිය ලෙස ඊට වැඩි කාන්තාවන් පිරිසක් වෙත ප්‍රවේශ වීමට හැකිවිය. දැන් එහි සාමාජික සංඛ්‍යාව 500කට ආසන්නවී ඇති බැවින් එය අලුත් සහ අපේක්ෂා දල්වන පියවරක් තැබීමට සූදානම්ව සිටී.

දිවයින පුරා ආදායම් මට්ටම් වර්ධනය කිරීමට සමූපකාර සමිතිවල දායකත්වය

එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදල (UNPBF) විසින් අරමුදල් සම්පාදනය කරන ඇමරිකානු ඩොලර් මිලියන 2ක EMPOWER ව්‍යාපෘතිය ILO සංවිධානය විසින් දියත් කරනු ලබයි. ලෝක ආහාර වැඩසටහන (WFP) සහ පුදුකුඩුයිරුප්පු කාන්තා සමූපකාර සමිතිය එම ව්‍යාපෘතිය දියත් කරන හවුල්කාර ආයතන ලෙස කටයුතු කරයි. එම ව්‍යාපෘතිය 2019 ජුනි මසදී අවසන් වීමට නියමිතය.

"LEED සහ EGLR ව්‍යාපෘතිවලින් අප ලබා ගත් අත්දැකීම් අනුව සමූපකාර ආකෘතිය ඉතාම ඵලදායී බව අපට විශ්වාසයි" ILO සංවිධානය පසුගිය වසර හතක කාලය තුළ උතුරු පළාතේ සමූපකාර සමිති 38කට සහයෝගය ලබාදී ඇති බව අවධාරණය කරමින් ILO සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය සඳහන් කළාය. "අපගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, මෙම සමූපකාර සමිතිවල ගොවීන්ගේ සහ ධීවර ජනතාවගේ ආදායම් මට්ටම පසුගිය වසර හය තුළ දෙගුණයක් බවට පත්වී තිබෙනවා. එමනිසා සමූපකාර සමිති මෙම කාන්තාවන්ගේ ජීවිත ද යළි ගොඩනැගීම සඳහා උපකාරීවන බව අප හොඳින් දන්නවා"

EMPOWER ව්‍යාපෘතියේ පුදුකුඩුයිරුප්පු ජනගත කිරීමේ අවස්ථාවේදී ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුයෙන් ඩුක් හොආන්ග් මහතා සඳහන් කළේ, ලෝක ආහාර වැඩසටහනත්, ILO සංවිධානයත් තම විශේෂඥ දැනුම හරහා EMPOWER ව්‍යාපෘතිය සවිබල ගැන්වීමට කටයුතු කරන බවය. "පහල සිට ඉහළට, සියලු දෙනා ඇතුළත් සහ ප්‍රාදේශීය ජනතාව වගකියන ආර්ථික ප්‍රතිසාධනයක් සහ සමාජ ඒකාබද්ධතාවක් තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ පුදුකුඩුයිරුප්පු කාන්තා සමූපකාර සමිතියේ කාර්යභාරයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, දශක දෙකකට අධික කාලයක් පුරා පැවති ගැටුම් හේතුවෙන් ඇණහිට තිබූ ව්‍යාපාරික සබඳතා යළි ගොඩනගා ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත" ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සමූපකාර සමිති මෙරට තුළ සාර්ථකවී ඇත. එකාමෙන් කටයුතු කිරීමෙන් ගොවි සහ ධීවර ජනතාවට වෙළඳපල වෙත ප්‍රවේශ වීමටත්, සාමූහික මිලදී ගැනීමේ හා අලෙවිකරණයේ ප්‍රතිලාභ බුක්ති විඳීමටත්, ණය පහසුකම් ලබා ගැනීමටත්, සමාජ ශුබසාධන වැඩසටහන් වෙත ප්‍රවේශ වීමටත් හැකිවී ඇත. කෘෂි සමූපකාර සමිතිවලට ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නොමඳ සහයෝගය හිමිවේ.

කාන්තා දෑත ශක්තිමත් කිරීම ප්‍රජාවගේ උන්නතියට මගපාදයි

සාමාන්‍යයෙන් පිරිමි පාර්ශ්වය විසින් දරනු ලබන රැකියා සහ කළමනාකරණ තනතුරු හිමිකර ගැනීම සඳහා කාන්තාවන්ට අවස්ථාව උදාකිරීම මගින් කාන්තාවන් හට සම්ප්‍රදායික ස්ත්‍රී/පුරුෂ භුමිකා බිඳ දැමීමට ද හැකිවී ඇත. "ප්‍රජාව වෙනුවෙන් අපගේ තීරණ ගැනීමේ හැකියාව වැඩිවී තිබෙන අතර, විවිධ මට්ටම්වල තවත් ප්‍රමුඛ වගකීම් දැරීමේ හැකියාව අප සතුයි" සමූපකාර සමිතියේ ලාබාල ම කාන්තාවවන 29 හැවිරිදි අන්නදාසන් පුෂ්පරාජි පවසයි. තමන් උපයන මුදලින් තම පවුලේ කුසගිනි නිවීමටත් පවුලට අවශ්‍ය සහයෝගය ලබාදීමටත් හැකිවී ඇති බව ද ඇය පවසයි.

විශේෂයෙන් අවදානමට ලක්ව ඇති සහ නිබඳව ප්‍රාදේශීය සමාජ සහ රාජ්‍ය තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ නොසලකා හැරෙන මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල්වල ප්‍රධානීන්, රජය විසින් පුනරුත්ථාපනය කරන ලද හිටපු සටන්කාමීන් මෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්ව ඇති ගෙවිලියන් පිළිබඳ සැලකීමේදී මෙම ප්‍රයත්නය ඉතා වැදගත් බව පසක් වෙයි. මෙම ප්‍රදේශවල කාන්තාවන් සැලකිය යුතු පිරිසක් අඩු බර තත්ත්වයෙන්, රක්තහීනතාවයෙන් සහ ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බැවින් ඔවුන්ට සෞඛ්‍ය ගැටළු රැසක් ද මතුවී ඇති බව අධ්‍යයන මගින් හෙළිවී ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ සමූපකාර සමිතියක් සමග සම්බන්ධ වීම කාන්තාවන් හට වෘත්තීය සහ සමාජයීය වශයෙන් තම ජීවිත වෙනසකට ලක්කර ගත හැකි අවස්ථාවක් වේ. රු. 15,000-20,000 අතර මාසික ආදායමකට හිමිකම් කියූ නන්දිනී දැන් තම නිෂ්පාදන අලෙවි කිරීමෙන් රු. 50,000ක් හෝ ඊට වැඩි ආදායමක් හිමිකර ගැනීමට සමත්ව සිටී. සමහර මාසවල එම ආදායම රු.80,000ක් වැනි ඉහළ මට්ටමකට ළඟා වෙයි.

සමූපකාර සමිතිය හරහා පුද්ගලික අංශයට වියළි කතුරු මුරුංගා අලෙවි කිරීම ඇගේ ප්‍රධානත ම ආදායම් මාර්ගයයි. කතුරුමුරුංගා කොළ අලෙවියෙන් පමණක් ඇය මසකට රු. 20,000ක් උපයා ගැනීමට සමත්ව සිටී. ඇගේ වගාවේ ඇති කතුරැමුරුංගා ශාක 400කට අධික ප්‍රමාණයකින් ඇය කතුරුමුරුංගා කොළ කිලෝ ග්‍රෑම් 500ක පමණ දැවැන්ත අස්වැන්නක් ලබා ගනී. ILO සංවිධානයේ සහයෝගයෙන් යුතුව ගස්ලබු, කෙසෙල්, අන්නාසි, වම්බටු, මඤ්ඤොක්කා සහ අමු මිරිස් වැනි අමතර බෝග ද වගා කරමින් ඇය අමතර ආදායමක් ද ලබන්නීය. නන්දිනී මෙවැනි ආදායමක් ලබන්නේ, සමස්ත පවුලක සාමාන්‍ය ආදායම රු. 30,000ක්වන ප්‍රදේශයක වීම ද විශේෂත්වයකි.

EMPOWER ව්‍යාපෘතිය යටතේ අතුපතර විහිදා යන පුදුකුඩුයිරුප්පු කාන්තා සමූපකාර සමිතිය

"අපගේ මීළඟ ඉලක්කය වන්නේ මෙම නිෂ්පාදන වෙනත් රටවලට අපනයන කෙරෙනු දැකීමයි" යනුවෙන් සමූපකාර සංවර්ධන නිළධාරී සිවබාලසිංහම් බාලසුන්දරම් මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ නිෂ්පාදිකාවන්ගේ ආදායම් මට්ටම් වැඩි කිරීම සඳහා නවෝත්පාදනය සහ අගය එකතු කිරීම් හඳුන්වාදීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි.

සමූපකාර සමිතිය සමග එක්වීම නිසා තමන්ට මුල්‍ය කළමනාකරණය, කාබනික ගොවිතැන සහ ව්‍යාපාරික කේවෙල් කිරීම ඇතුළු විවිධ කුසලතා රැසක් වර්ධනය කර ගැනීමට හැකිවූ බව එම කාන්තාවන්ගේ අදහසයි. මුලතිව් දිස්ත්‍රික්කය නියඟයෙන් පීඩාවට පත්වන ප්‍රදේශයක් බැවින්, ජල කළමනාකරණය, බෝග විවිධාංගිකරණය සහ වාරි තාක්ෂණය පිළිබඳ නව කෘෂිකාර්මික ක්‍රමවේද පිළිබඳ අවබෝධය ඉතා වැදගත් බව හිටපු කාන්තා සමූපකාර සමිති සභාපතිනියකවන ක්‍රිෂ්ණකුමාර් ජයරංජිනී පවසයි.

අභියෝග රැසක් පැවතිය ද EMPOWER ව්‍යාපෘතිය යටතේ ග්‍රාම නිළධාරී කොට්ඨාස 8 සිට 19 දක්වා සිය ජාලය පුළුල් කිරීමටත්, ඒ අතරතුර අලුතින් සාමාජිකයන් සිය ගණනක් සිය ජාලයට එක්කර ගැනීමටත් ඔවුහු අපේක්ෂා කරති.

"මුලදී අපට රු. 1000ක් හෝ ණයට ඉල්ලා ගැනීමට හැකි වුණේ නෑ. නමුත් දැන් අපේ ප්‍රජාව අපට ක්ෂුද්‍ර ණය ලබාදීමට ඉදිරිපත් වනවා" ජයරංජනී පවසන්නේ හදපිරි සතුටිනි. ප්‍රජාව තුළ සංහිඳියාව වර්ධනය කිරීම සඳහා මෙවැනි ණය පහසුකම් උපකාරීවන බව ඇගේ විශ්වාසයයි.

"සාමාන්‍යයෙන් ගැටුම් ඇති වන්නේ ආර්ථික සාධක සහ සම්පත් සඳහා ඇති අසමතුලිත ප්‍රවේශය පදනම් කර ගෙනයි. වෙනත් ප්‍රජාව සමග හොඳ ව්‍යාපාරික සබඳතා ඇතිකර ගනිමින් ජනතාව වඩාත් බලසම්පන්න කිරීම සහ ඔවුන්ට වැඩි ආදායම් ක්‍රම හඳුන්වා දීම හරහා අප එම තත්ත්වය වෙනස් කරනවා. එය සියලු දෙනාට සාමකාමී ලෙස සිතීමට උනන්දු කරවනවා" යනුවෙන් ඇය වැඩිදුරටත් පවසන්නීය.